
ජෙනරාල් සරත් ෆොන්සේකා පසුගිය බ‍්‍රහස්පතින්දා (5) යළි ශ‍්‍රී ලංකාවට පැමිණියේ දින කිහිපයක විදේශ සංචාරයකින් පසුවය. ඔහුගෙන් අමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර අමාත්‍යංශය මගින් ප‍්‍රශ්න කිරීමට නියමිත බව පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් වාර්තා කෙරුණු අතර බදාදා (4) සන්ධ්‍යාව වන විට එවැනි ප‍්‍රශ්න කිරීමකට මුහුණදෙන්නේ නැතිවම තමන් මවුබිමට පැමිණෙන බව රාජ්‍ය බලධාරීන් වෙත ඔහු විසින් දැනුම් දී තිබිණි. රාත‍්‍රිය වන විට දෙස් විදෙස් ජනමාධ්‍ය වාර්තා මගින් පවා සනාථකර තිබුණේ ජෙනරාල්වරයා අමෙරිකාවේ ප‍්‍රශ්නකිරීම්වලට මුහුණදෙන්නේ නැතිව ම එක්සත් ජනපදයෙන් පිටවූ බවයි. එහෙත් ඔහු ගුවන් තොටුපළට පැමිණෙන විට සාමාන්‍ය රාජ්‍ය නිලධාරියකු පැමිණෙන විට පිළිගන්නා ආකාරයේ පිළිගැනීමක්වත් කරන්නට බලධාරීන් විසින් කටයුතු යොදා නොතිබීම විශේෂත්වයකි. නම ගිය අපරාධකරුවන්ට සහ වෙනත් අවශේෂ පුද්ගලයන්ට විශේෂ පිළිගැනීම් හිමිවෙද්දී ජනමාධ්‍යකරුවන්ගේ සහභාගිත්වයක් ජෙනරාල්වරයාගේ පැමිණීම වෙනුවෙන් සංවිධානය කිරීමට නොහැකි වූයේ ඇයිද යන්න කාගේත් කතාබහට ලක් වූ කරුණක් විය.
පසුගිය කාලයේ මෙරට දේශපාලනයේත් ජනමාධ්‍යයේත් අවධානය ලබාගන්නට සමත් වූ ෆොන්සේකා මහතා පසුගිය 26වැනිදා අමෙරිකා එක්සත් ජනපදය බලා ගියේ සිය පවුලේ සාමාජිකයන් හමු වීමටය. පියා, දිගු කාලයකින් දියණියන් දෙදෙනා සමග සතුටින් සිටින අතර වැඩිමහල් දියණියගේ ස්වාමිපුරුෂයාට දුරකථන ඇමතුමක් ලැබිණි. අමෙරිකානු අභ්‍යන්තර අමාත්‍යංශ නිලධාරීහු, යුද අපරාධ සම්බන්ධයෙන් කෙරෙන සම්මුඛ සාකච්ඡාවකට පැමිණිය යුතු බව ජෙනරාල්වරයාට දැනුම් දුන්හ. ඒ වනවිටත් රජයේ ජනමාධ්‍ය ඔහුගේ සංචාරය පිළිබදව කිසිවක් රටට හෙළිකර නොතිබිණි. ඔහු වොෂින්ටනයේදී කළ කතාව ද රාජ්‍ය ජනමාධ්‍යයන්ට වාර්තා කළ නොහැකි වූයේ ඔහු ආණ්ඩුවේ අවශ්‍යතාවයට අනුව ජනමාධ්‍ය අවධානයෙන් ඉවත්කර ඇති බැවිනි. හමුදා නිලධාරියකු නිල ඇඳුම දරන නිලධාරියකුට දේශපාලනයට එන්නට නම් නිල ඇඳුම ගලවා පැමිණිය යුතු බවත් නොඑසේ නම් ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවටත් ආරක්ෂක අංශ ප‍්‍රධානින් ප‍්‍රකාශ නිකුත් කරන තරමට ම සරත් ෆොන්සේකා දේශපාලනයට එතැයි ආණ්ඩුවට බිය දැනී තිබිණි.
මොන සරත් කෙනෙකු ආවත් ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණයකින් ජයගන්නා බවට ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් රටට කියන්නට ඇමැතිවරුන්ට උපදෙස් දී තිබුණු බව පැහැදිලිය. ඇමැතිවරු ලවා එතරම් බාල වර්ගයේ ප‍්‍රචාරයන් ගෙනයන්නට තරම් ආණ්ඩුව කලබල වී ඇත්තේ සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට එන්නට තමන් විසින් තීරණයක් ගෙන නැති බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරතිබියදීමය. කෙසේ වෙතත් ජෙනරාල්වරයා අමෙරිකා එක්සත් ජනපදයට ගියේ පවුලේ ඥාතීන් හමුවීමටය. ඇත්ත වශයෙන්ම එවැනි අරමුණක් ඇතිව අමෙරිකාවට ගියද වෙනත් කරුණක් ද මේ සංචාරය හා සම්බන්ධ විය.
එනම්, එක්සත් ජනපදයට අයත් හොනලූලූ දූපතේ පැවැති ආරක්ෂක සමුළුවකට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමේ අවස්ථාවක් ලැබීමය. එම සමුළුව නොවැම්බර් 9-10 දිනවල හොනලූලූ දූපතේ "වයිකිකි ෂෙරටන්"හෝටලයේ පැවැත්වීමට නියමිතය. ඔක්තෝබර් 26 වැනිදා එක්සත් ජනපදය බලා ගිය ජෙනරාල්වරයා පවුලේ ඥාතීන් හමුවීමෙන් පසුව එම සමුළුවට ද සහභාගි වීමට නියමිත විය.
ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට සහභාගි විය හැකි අන්තර්ජාතික මට්ටමේ සමුළු දෙකක් පිළිබදව ආරක්ෂක අමාත්‍යංශයට මාස ගණනාවකට පෙර ඇරැයුම් ලැබී තිබිණි. මේ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් පසුව එයින් සෘජු ලෙසම අන්තර්ජාතික මට්ටමෙන් ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ "ආසියා පැසිෆික් හමුදා ප‍්‍රධානින්ගේ 6වැනි සමුළුවට"යැවීමට නිර්දේශ කරන ලද්දේ වත්මන් යුද හමුදාපතිවරයාය. ඒ අනුව ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය පසුගිය අගෝස්තු 24-27 පැවැති එම සමුළුවට සහභාගි වීය. ආරක්ෂක මෙහෙයුම් පිළිබද සජීවි අත්දැකීම් සහිතවුවත් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සමුළුවට සහභාගිකරවීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබිණි. මෙම සමුළුවට සහභාගිවීම සදහා 'වීසා'අයදුම්කරන අවස්ථාවේ ම ඒ පිළිබඳව ගැටලූවක් මතු විය.
එනම්, ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතුවල නිරතවූවන් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව තිබෙන නිසා හොනලූලූ සමුළුවට සහභාගි වන්නේ නම් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ගතයුතුව ඇතැයි එක්සත් ජනපදයේ ආගමන විගමන බලධාරින් වශයෙන් දැනුම් දී තිබීමයි. ඒ අනුව ජනරාල්වරයා එක්සත් ජනපදය දක්වා ගියද අපේක්ෂිත සමුළුවට සහභාගිවීමට අවස්ථාවක් නොලැබුවේ මෙරට රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පැවැත්වීමේ "දක්ෂතා"නිසාය. එම සමුළුවට සහභාගිවීමට උත්සාහ කිරීමේදී මෙම යුද අපරාධ කොන්දේසිය මතු කළ බව ආරක්ෂක අමාත්‍යංශය දැන සිටි බැවින් සරත් ෆොන්සේකා මහතා සමුළුවට සහභාගිකරවන අදහසක් නැතත් රාජ්‍යතාන්ත‍්‍රික ගැටලූවක් ලෙස එහි වැදගත්කම සලකා කටයුතු කිරීමට ආණ්ඩුව සතු වගකීමක් තිබිණි.
අනෙක් වැදගත් කරුණ නම් එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගීවීමට ගිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්සත් ජනපද ආගමන විගමන නිලධාරින් විසින් ප‍්‍රශ්න කිරීමකට භාජනය වී ඇති බවට දැන් දැන් අනාවරණය වීමය. ඒ බව පසුගියදා ජනමාධ්‍ය වෙත පවසා තිබුණේ ආණ්ඩුවේම පාර්ශ්වකරුවකු වන විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාය. මන්ත‍්‍රීවරයා පවසන්නේ කෙප්පයක් නොවේ නම්, මෙය අතිශය බරපතළ කරුණකි. එය ඇත්තක් නොවේ යැයි තවමත් ආණ්ඩුව නිවේදනය කර නැත. එවැන්නක් සිදු වූවා නම් ආණ්ඩුවේ බලධාරීන් විසින් රටට හෙළිකළ යුතු කරුණක් දේශපාලන පාර්ශ්වකරුවකු ලවා කියන්නේ කුමන හේතුවක් නිසාද? එවැන්නක් කළ යුතුව තිබුණේ විදේශ ඇමැතිවරයා විසින් හෝ වෙනත් රජයේ නිලධාරියකු හෝ ඇමැතිවරයකු විසින් නොවේද?
වඩාත් බරපතළ ප‍්‍රශ්නය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ආරක්ෂක ලේකම්වරයාය. ජනාධිපතිවරයාගේ සහෝදරයා යන කාරණයට වඩා ඔහු රටේ ජනතාවට වගකියන නිලධාරියෙකි. ඔහු විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජනපද නිලධාරින්ට ලබාදුන් ප‍්‍රකාශයක් ගැන ජනතාව දැනුවත් නොකළේ ඇයි? එහි සැඟවිය යුතු දෙයක් තිබුණාද? බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීමට සෘජුව සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරියා වශයෙන් ඔහුට ඇති ගෞරවය ආරක්ෂා විය යුතුය. එසේම ඔහුව ප‍්‍රශ්න කිරීමට විදේශ රටක් කටයුතු කර ඇති බව මේ රටේ ජනතාව දැනගතයුතුය. එය හෙළිදරව් නොකිරීමෙන් ආණ්ඩුව ජනතාව සතු අයිතිය උල්ලංඝනය කර තිබේ. එපමණක් ද නොව, ජෙනරාල් ෆොන්සේකා විසින් මෙරට ආරක්ෂක මෙහෙයුම් පිළිබදව කිසිවක් හෙළි නොකළ යුතු බව ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් පැවැසූ නීතිය, ආරක්ෂක ලේකම්වරයා කඩකළ බවක් මෙම අලූත් හැගීමක් ඇති වේ. රාජ්‍යතාන්ත‍්‍රික අවසරය ඇතිව ආරක්ෂක ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සැසිවාරයට ගිය අවස්ථාවකදී ඔහුගෙන් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු පිළිබදව ප‍්‍රශ්න කිරීම වැලැක්වීමට ආණ්ඩුව කටයුතු නොකළේ මන්ද? ඔහුට අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධව එක්සත් ජනපදයට පිළිතුරු බැදීමට සිදුවන්නේ ඇයි? ප‍්‍රශ්න කළ යුතු මෙවැනි කරුණු ආණ්ඩුවේ දේශපේ‍්‍රමී ඝෝෂාවෙන් යටපත් නොකළ යුතුය.
ආරක්ෂක ලේකම්වරයා මෙන්ම වෙනත් ආණ්ඩුවේ බලවතුන් එක්සත් ජනපදයේ පුරවැසියන්වීම මෙහි තවත් පැත්තක් ලෙස සිතිය හැකිය. ඒ නිසා තම රටේ පුරවැසියන් ඕනෑම අවස්ථාවක නීතිමය කරුණු මත ප‍්‍රශ්න කිරීමේ බලයක් එක්සත් ජනපදයට තිබේ යයි කිසිවකු නීති තර්ක මතුකළ හැකිය. එහෙත් අප කල්පනා කරන්නේ කවර තරාතිරමකට අයත් වුවත් රාජපක්ෂ යනු මේ රටේ රජයට වගකිවයුත්තකු බව ය. ඒ නිසා ආරක්ෂක මෙහෙයුම් සම්බන්ධ මෙරට සාමාන්‍ය ජනතාව පවා නොදන්නා වැදගත් රහස් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ විට එක්සත් ජනපදයට අවශ්‍යවූයේ කුමක් දැනගැනීමට ද යන්නත් ඔහු කුමක් පැවැසුවාද යන්නත් දැනගැනීමට මෙරට ජනතාවට අයිතියක් ඇත.
මේ වනවිට ජෙනරාල් සරත් ෆොන්සේකා මෙරටට පැමිණ සිටී. එක්සත් ජනපද නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතවූයේ 4වැනිදා පස්වරු 4.00ටය. එදින පෙරවරුවේම එක්සත් ජනපදයෙන් පිටත්වීම මගින් රාජ්‍යතාන්ත‍්‍රික උගුලෙන් ගැලවීමට ජෙනරාල්වරයා තීන්දු කර තිබිණි. ඒ නිසා ඔහුගෙන් අමෙරිකන් බලධාරීන් දැනගන්නට බලාපොරොත්තු වූ කිසිදු ආරක්ෂක තොරතුරක් එක්සත් ජනපදයට ප‍්‍රකාශ කර නැති බව ඒ අනුව පැහැදිලි වේ.
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා "ද්‍රෝහියකු" වන බවට මතයක් හා සැකයක් ඇති කරවන්නට රාජ්‍ය ජනමාධ්‍ය දැරූ උත්සාහය පුස්සක් වී අති නමුත් ආරක්ෂක ලේකම්වරයා එක්සත් ජනපද නිලධාරින්ට ලබා දුන් තොරතුරු හෝ එම ප‍්‍රශ්න කිරීම ගැන අබ ඇටයක් තරම් දෙයක් ලියන්නට ඔවුන් අසමත් වූයේ ඇයිද යන්න මෙහිදී විශේෂ අවධානයට ගත යුතුව තිබේ. සරත් ෆොන්සේකා සම්බන්ධ භීතිකාවක් ආණ්ඩුවට ඇත්දැයි සිතෙන තරමට කරුණු මතු වූ නිසා අප පුවත්පත විසින් ද ඒ සම්බන්ධයෙන් අනාවරණය කිරීම් සිදු කරන ලදී. අප පුවත්පත මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කිරීම ආණ්ඩුවේ බලධාරීන්ට කලබලවන්නට හේතු වූ බව දක්නට ලැබිණි.
කතුවරයා හමුවීමට රහස් පොලිසිය පැමිණියේ 16වැනි සිකුරාදා රාත‍්‍රී 9.30ටය. පසුව ‘ලංකා’ කතුවරයාට රහස් පොලිසියට ප‍්‍රකාශයක් ලබාදෙන්නට පැමිණෙන ලෙසට ඔහු වෙත ලිඛිතව දැනුම්දීමක් කර තිබුණේ 18 වැනි ඉරිදා පැමිණෙන ලෙසය. එසේ තිබියදීත් 17 වැනිදා දවස පුරා වසා තිබුණු ‘ලංකා’ කාර්යාලය වටකරන්නටත් හොර රහසේ හෝමාගම ක‍්‍රීඩාපිටියක් ආක‍්‍රමණය කර කතුවරයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන්නටත් එහි අපකීර්තිය භාරගන්නටත් රහස් පොලිසියට සිදු වූයේ කවුරුන් හෝ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සදුදා වන විට ලබාදෙන ලෙස කරන ලද බලපෑමක් නිසාය. ඒ වනවිට සෑම ජනමාධ්‍යයක්ම ආණ්ඩුව විසින් ජෙනරාල්වරයා සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත ප‍්‍රශ්නකාරී බව හෙළිකරද්දී අප විසින් කළේ කරුණු සහිතව මුල් පිටුවේ ශීර්ෂපාඨ ලෙස එය රටට හෙළිකිරීමයි.
එක් පැත්තකින් රජයේ ජනමාධ්‍යයන්ට ජෙනරාල්වරයා සම්බන්ධ පුවත් ප‍්‍රචාරය නොකරන ලෙස බලපෑමක් ඇති බව ප‍්‍රවෘත්ති විකාශයන්ගෙන්ම දැකගත හැකි විය. අනෙක් පැත්තෙන් රජයේ නිලධාරියකු ලෙස ජෙනරාල්වරයාට ජනමාධ්‍ය සමග සෘජු ගනුදෙනුවක් කිරීමට අවසරයක් නොමැති බව තේරුම්ගත හැකිය. ඒ සදහා ඔහු අවසර ගතයුතු වන්නේ ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි. ජෙනරාල්වරයා විසින් එවැනි අවසරයක් ඉල්ලා සිටියාද නැද්ද යන්න අප දන්නේ නැත. කෙසේ වෙතත් ජෙනරාල්වරයා සම්බන්ධ පුවත් නිර්මාණය වෙද්දී ඔහුට ඒ සම්බන්ධ නිල වශයෙන් අදහස් දැක්වීමට අවසරයක් ලබාදීම හෝ උපදෙස් දීම කළයුතුව තිබුණේ රජයේ බලධාරීන්මය.
අවසානයේදී ජනමාධ්‍ය විසින් ඒ පිළිබදව පවසන කරුණුවලට රාජ්‍ය මාධ්‍ය යොදාගෙන පිළිතුරුදීමට ආණ්ඩුවේ ඇමැතිවරුන් සහ ආවඩන්නන් යොදවනු දක්නට ලැබිණි.